Saturday, April 30, 2011

දරු පෙම

දෙලොවක්‌ අතර සිටි දෙදෙනෙකු යා කළ
දරු පෙම



මෙම කතාව තුළ ජීවත්වන චරිත තවමත් අප අතර ජීවත්වන හෙයින්ද, ප්‍රධාන චරිතයේ ඉල්ලීම නිසාම ප්‍රධාන චරිතයට මනඃකල්පිත නමක්‌ද, සෙසු චරිතයන්ටද එවැනිම වූ නාමයන් ද ආරෝපණය කිරීමට සිදුවීමෙන් කිසිදු ආකාරයක චරිත ඝාතනයක්‌ සිදු නොවන බව මම සහතික කරමි. ඇය ඉඳුනිල් නමින් හඳුන්වමි. බස්‌නාහිර පළාතේ වැදගත් කුල පරම්පරාවක දෙමාපියන්ට ජාතකව මෙලොව ඉපදුණ ඇය පවුලේ බඩපිස්‌සීය. ගම්පහ පළාතේ උසස්‌ යෑයි සම්මත කාන්තා විද්‍යාලයක අකුරු කළ ඇය ජීව විද්‍යා විෂයයන් උසස්‌ ලෙසින් උසස්‌ පෙළ විභාගය සමත් වුවද වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අංශු මාත්‍රාවක ලකුණු ප්‍රමාණයක්‌ අඩුවීම හේතුවෙන් රජයේ හෙදි විභාගය සඳහා පෙනී සිටියාය. එයින් උසස්‌ අන්දමින් ප්‍රමාණවත් ලකුණු ලබා කුරුණෑගල රජයේ හෙදි විද්‍යාලයේ අභ්‍යාස ලද්දීය. තෙවසරක උගැනීමෙන් පසුව ඇය පළමු පත්වීම කොළඹට සමීප මානසික රෝහලක සේවයට පත්විය. පරිවාස කාලයෙන් පසුව පිරිපුන් රූමත් ඇයට සිය දෙමාපියන් විසින් මඟුල් කපුවකුගේ මාර්ගයෙන් සුදුසු සහකාරයකු සොයා ගැනීමට බලාපොරොත්තු විය.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන්ට ම ගැළපෙන වංශවත් යෑයි හඳුන්වා ගන්නා පවුලක පිරිමි ළමයකු මනමාලයා ලෙස කපුවා විසින් ඉදිරිපත් කළ යෝජනාව තරුණියගේ දෙමාපියන්ගේ අවධානයට ලක්‌ වූයේ ඔහුද දැන උගත් රැකියාවක්‌ කරන බුද්ධිමත් අයකු හෙයිනි. දෙපාර්ශ්වය ඔවුනොවුන්ගේ නැකැත්පත් පරීක්‍ෂා කර පොරොන්දම් ගැළපෙන හෙයින් දෙපාර්ශ්වයේ එකඟත්වය අනුව ඉක්‌මනින් විවාහ මංගල්‍යය කිරීමට යෝජනාව විය. ඇය හෙදි සොයුරියක්‌ වුව සමාජය පිළිබඳ පැසුණු බුද්ධියක්‌ හෝ අත්දැකීමක්‌ නොවීය. මංගල්‍ය තීන්දු කිරීමෙන් පසුව ඔවුනොවුනට ඇසුරු කිරීමටත්, ආදරය කිරීමටත් තම අදහස්‌ හුවමාරු කරගැනීමටත් සිදුවීම අද ඇය පසු තැවෙන එක්‌තරා කනගාටුදායක තත්ත්වයකි. ඇය අද පත්ව ඇති එකී අවාසනාවන්ත තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ දෙපාර්ශ්වයේම දෙමාපියන් බව ශාප කරමින් පවසන්නීය.

නියම කරගත් පරිදි විවාහය සිදුවිය. විවාහයෙන් පසුව සැමියාගේ ගම්පළාතට ස්‌ථාන මාරුවක්‌ ලබාගත් ඇය එහි සිට තම සේවය සඳහා ගියේය. සැමියා ද සුපුරුදු පරිදි තම රැකියාව සඳහා දිනපතා අගනුවරට ගියේය. විවාහ වී වසර තුනක්‌ ඉකුත් වුවද ඔවුනට දරු සුරතල් විඳීමට නොහැකිවීම පිළිබඳ විවිධ කතා ඔවුනොවුන් අතර විටින් විට ඇති විය. දෙදෙනා දෙදෙනාට ගරහා ගත්හ. බිරිඳ වඳ එකියෑක්‌ යෑයි සැමියා කියද්දී සැමියා වඳ යෑයි බිරිඳ කීවාය. එය ඔවුන් අතර වූ සමඟියට එක්‌තරා බාධාවක්‌ වූහ. එහෙත් රජයේ හෙදියක්‌ වූ ඇය වෛද්‍යවරයකු හමුවට යැමට කළ සෑම යෝජනාවක්‌aම සැමියා විසින් සිතාමතාව ප්‍රතික්‍ෂේප කර මගහරින බව ඇයට දැනුණි. ඇය බුද්ධිමත්ව තමන් අතර වූ ප්‍රශ්නයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුදුසු ක්‍රමවේදයක්‌ අනුගමනය කරන්නට බලා සිටියාය. එහෙත් සැමියාගෙන් සුදුසු ප්‍රතිචාර නොලද විට ඇය තුළ කිසියම් සැකයක්‌ මතු විය. තම සැමියා වෛද්‍ය සායනයට කැඳවා ගෙන යැමට නොහැකි වූ තැන ඇය වෛද්‍යවරයකු හමුවී පරීක්‍ෂණයක්‌ කරවා ගෙන තමන් දරුවකු පිළිසිඳ ගැනීමට තරම් සුදුසු තත්ත්වයේ පසුවන බව සහතික කරගත්තීය. ඇයට සැමියාගේ දෙමාපියන් හෝ නෑදෑයන්ගෙන් එල්ල වූ වඳ එකියක්‌ යන චෝදනාවෙන් ස්‌වයංව නිදහස්‌ වුවත් එහි සත්‍ය ප්‍රතිඵල ලබාදීමට තම සැමියා එකඟ කරවාගැනීමට ඇයට නොහැකිවීම ගැන ඇය පසු තැවුණි. වෛද්‍යවරයකු හමුවීම සඳහා ඔහුව කැඳවාගෙන යැමට දැරූ සෑම ප්‍රයත්නයක්‌ ම ඔහු සිතා මතාම මගහැරිය බව ඇය අදත් සිතන්නීය.

විවාහ වී සුළු කාලයක්‌ තුළ දී සැමියාගේ වෙනස්‌වීමක්‌ ඇය දිටිනි. එය කුමක්‌ද යන්න ඇයට අවබෝධ කරගැනීමට හේතුවක්‌ නොවීය. තම සැමියා නිරන්තරයෙන්ම ඇයගෙන් ඈත් වීමට උත්සාහ දරනාකාරයක්‌ ඇය දැන සිටියාය. විවාහක යුවළක්‌ ලෙස අඹුසැමියන් ලෙස එක්‌වීමට ඔහු කිසිදු දිනක නොපෙළැඹුණ බව ඇය වේදනාවෙන් යුතුව දරාගත්තීය. රැකියාව හා ගෘහ ජීවිතය අතර ඇය අතරමං වූ සෙයක්‌ දැනුණි. වෙනත් විවාහක සම වයසේ මිතුරියන්ගේ ගෘහ ජීවිතයේ වන සිදුවීම් අතර ඇය විඳ වූයේ මානසික දැඩි පීඩාවකි. මන්ද ඇයත් විවාහ ජීවිතයේ උපරිමය විඳීමට පටන් ගත්තා පමණක්‌ හෙයිනි. ඇය තම සැමියාගෙන් පැතූ සතුට වින්දනය ඇයට මේ වනතුරුත් නොලැබීම මානසික වශයෙන් ඇය රෝගියකු කිරීමට තරම් සමත් විය. ඇය සේවය කළ රෝහල් වාට්‌ටුවේ වෙනදා සේවය කළ කඩිසර හෙදිය මන්දගාමීව සේවයේ නිරත වූ බොහෝ අවස්‌ථාවල ප්‍රධාන හෙදි සොයුරියගේ දෝෂයන්ට ලක්‌ විය. එසේ වුව ඇයගේ හඬට සවන් යොමු කිරීමට හදවත මෙළොක්‌ වූ කිසිවකු නොවීම ඇයගේම අවාසනාව විය.

දිනෙන් දින පවුලේ සැමියා සමඟ තිබූ ළෙන්ගතුකම ගිලිහී යන්නටත් පවුලේ වැඩිහිටියන් තමන් වෙත අවඥසහගතව බැලීමටත් පුරුදු වීම නිසා ඇය තවදුරටත් මානසික වශයෙන් පීඩා වින්දාය. තම සැමියාගෙන් විවාහක බිරිඳ වශයෙන් ලැබිය යුතු ආදරය, ළෙන්ගතුකම, සෙනෙහස, එකම පැතුම දරුවෙක්‌ නොලැබීම අතර ඇය මංමුළා වූ එකියක්‌ විය. එහෙත් ඇය කිසිදු දිනක තම සැමියාට වෛර නොකළාය. කෙදිනක හෝ ඔහුට දාව තම කුසයෙන් දරුවකු බිහි කිරීම එකම පැතුම කරගත් ඇය මිරිඟුවක්‌ පසුපස යන මුවැත්තියක්‌ මෙන් විඩාබරව ඇදවැටුණි. එහෙත් ඇයගේ සැමියාට නොවේ එය අවබෝධ වූයේ. ඒ ඇයගේ පෙර සංසාරයේ ඇය කළ මහා පවක්‌ නිසා යෑයි ඇය සිතීය.

කාලය ගෙවී යැමත් සමඟ ඇයට තම සැමියා පිළිබඳව ඇති වූයේ සැකයකි. ඇය සැකය පිටුපස ලුහුබැන්දාය. එකිනෙක කටකතා සවනට ඇසුණද ඇය ඒවා සත්‍ය යෑයි විශ්වාස නොකළාය. කවදා හෝ සැබෑ තත්ත්වය මා දෑසින් දකිනතුරු මම ඔහුව සැක නොකරමි යනුවෙනි. අඹු සැමියන් අතර ඇති වූ විවිධ හැලහැප්පීම් අතර ඇයට ඇයගේ නැන්දා සමඟද විරසක වීමට සිදු විය. එවන් පවුල් පසුබිමක්‌ තුළ අවුල් වූ හදවතින් තනිවම වේදනා විඳවමින් තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට ඇය කිසිදු විටක අමතක නොකළාය. හදවතින් හුදෙකලාව තම විවාහක සැමියාගේද හවුහරණයක්‌ ආදර සෙනෙහස ආරක්‍ෂාව රහිතව සිටි මංමුළා වූ ඇයට ඇයගේ ජීවිතයට තුන්වැන්නෙක්‌ එබී බලන්නට වූයේ ඇයගේ පෞද්ගලික පවුල් පසුබිමේ ඇතිව තිබූ නොසංසුන්කාරීත්වය දැන සිටි කෙනෙකි. ඔහු නිරන්තරයෙන්ම ඇය පිළිබඳව විමසිල්ලෙන් සිටි අයෙකි. ඇයද නොදැනුවත්වම ඔහු ක්‍රම ක්‍රමයෙන් ඇයගේ හුදෙකලා හදවත තුළ ලැඟුම් සොයන්නට විය. ඔහුගේ හමුවීම දිය පොදක්‌ විය. ඇයගේ තොල් වියළුනා පිපාසයට මෙනි. ඇයද ඇයගේ හුදෙකලාව පාළුව තනිකම ඇයගේ හද තුළ කැකෑරෙමින් තිබූ පවුලේ ප්‍රශ්න සැමියාගේ දුරස්‌ථ බව ඇයගේ කායික හා මානසික ප්‍රශ්න උන්මත්තියක්‌ ලෙස වැමෑරුවේ ළය විරේකයක්‌ ලෙසිනි. ඔහුට එයම කදිම අවස්‌ථාවක්‌ විය. ඇයගේ පාලු හදවතට සමීප වන්නට වැඩි කලක්‌ යැමට මත්තෙන් ඔහු ඇයගේ අනියම් සැමියා බවට පත් විය. තම විවාහක සැමියාගෙන් විවාහක කාන්තාවක්‌ ලෙසින් ලැබිය යුතු කායික හා මානසික තෘප්තිය ඇය ඔහුගෙන් අවස්‌ථාවන් ලද සෑමවිටකම විඳ විය. කලකදී මොහොතකට හෝ ඇය කායික ලෙසින් ඔහුගෙන් තෘප්තිමත් වූවාට පවක්‌ නැතැයි සිතීsය. කල්යත්ම ඇය හා ඔහු අතර වූ ඇසුර මුහුකුරා ගිය සෙයක්‌ දැනුණේ ඇය ගැබ්බර මවක්‌ වන ලකුණු පහළ වීමත් සමඟ ය. එහෙත් ඇයට සමාජයෙන් අවලාදයක්‌ නොනැඟුණත් ඇයගේ හදවතට ඇය වංක වූවා යෑයි සිතීය. ඇය සිත් සේ ඔහුගෙන් කායික වශයෙන් තෘප්තිමත් විය. විවාහක කාන්තාවක්‌ ලෙසින් ඇයගේ හැසිරීම තුළ වරදක්‌ කිව නොහැකි තත්ත්වයට ඇය පත්ව සිටි හෙයිනි.

නිවසින් ද ඇයට ඇයගේ දරු ගැබට කටකතා නොකියෑවිණි. බොහෝදෙනකු විශ්වාස කළේ කල් පිරී ගොස්‌ ඇය මවක්‌ වූ බවය. එහෙත් ඇය හා ඔහු මෙන්ම ඇයගේ සැමියාද දරු ගැබේ සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න දැන සිටියද ඔහු නෙමේ ඇයට විරුද්ධව එකදු වචනයක්‌ කතා කළේ. ඒ පිළිබඳව ඉඳුනිල්ට ඇති වූයේ වෛරයක්‌ නොව අනුකම්පාවකි. ඇය දෙලොවක්‌ අතර තනි වූවාය. ඉඳුනිල්ගේ අනියම් සැමියාද විවාහකයකු බව ඇයට අනාවරණය වන විට ඇය ඔහුගේ අනියම් බිරිඳ වී හමාරය. කාලය ගෙවී ගියේ සියලුම ප්‍රශ්න නිරාකරණය කර ගෙන වුව දරුවාගේ උපන් අයිතිය පිළිගැනීමට විවාහක සැමියාගේ ඉදිරිපත්වීමද ඉඳුනිල්ට පුදුම සහගතය. ඇය ඇයගේ අනියම් සැමියා කෙමෙන් කෙමෙන් ඈත් කරද්දී ඔහුද අකැමැත්තෙන් තොරව ඉඳුනිල්ගෙන් ඈත් වූයේ අවස්‌ථාවාදී ප්‍රේමවන්තයකු ලෙසිනි. එහෙත් ඇයගේ සැමියා ඇය කරා වෙනදාට වඩා සමීපව ළෙන්ගතු වූවාය. ඇයටත් ඇයගේ දරුවාටත් සෙනෙහෙබර පියකු ලෙසත්, සැමියකු ලෙසත් ඔහුගෙන් ඉටු විය යුතු යුතුකම් කවරේද ඒ සියල්ලම කිසිදු අඩුපාඩුවකින් තොරව ඉටු කළේය. මෙම දෙබිඩි ජීවිතය හා හැසිරීම හමුවේ නිරුත්තර වූ ඉඳුනිල් සැබෑ මවක්‌ ලෙසින් තම ගර්භයේ හැදුණු වැඩුණු දරුවා අපරිමිත වූ සෙනෙහසින් යුතුව ඇති දැඩි කළේ තම කුසයේ ඉපදුණත් තම විවාහක සැමියාගේ නොවන බව දැන දැන වුව දරුවාට තමන්ගෙන් ලැබිය යුතු අපරිමිත සෙනෙහස ලබා දුන්නා පමණක්‌ නොව සැමියාද සිතට එකඟව තමන්ගේ නොවන අවජාත වූ දරුවකුට දිය යුතු උපරිම පිය සෙනෙහස ලබා දුන්නාය. වෙනදා නිවසින් ඇයට එල්ල වූ ඇනුම් පද වඳ ගැහැනිය, මූසලිය උදේට දැක්‌කොත් වගතුවක්‌ නැහැ. අපේ ඇස්‌වලට පේන්න එන්න එපා යන ආඩපාලිවලින් කියෑවුණ අහිමිරි වදන් මිහිරි වූ වදන්වලට පෙරළී ඇය තරම් වාසනාවන්ත ලේලියක්‌ තවත් නැතැයි නැන්දම්මා කියූ වාර අන්ත අප්‍රමාණය. නැන්දා සහ ඥතීන් තමාගේ පරපුර ඉදිරියට ගෙනයා හැකි පිරිමි පුතකු වැදුවාට ඉඳුනිල්ට කරනු ලබන සත්කාරයන් අනන්ත අප්‍රමාණයන් විය.

දරු උපතේ හා දරුවාගේ සැබෑ පියා පිළිබඳ වූ අයිතිය දන්නේ ඉඳුනිල් පමණි. සිය විවාහක සැමියාද එකී දරුවා තමාගේ නොවන බව සිතට එකඟව දනිතත් ඔහු කිසි දිනක ඉඳුනිල්ට විරුද්ධව වචනයක්‌ කතා නොකළේය. එසේම විවාහක සැමියාද තම ඥති බන්ධු වර්ගයාගෙන් ඇයට විවාහක බිරිඳට එල්ල වූ අපහාස උපහාස අවම කර කර යළි සැබෑ විවාහ දිවියක්‌ ගත කිරීමට නාමිකව දුන්නා වූ සහාය සමාජයට අලුත් පාඩමකි. සැකය මුසු ඇතැම් පවුල් සංස්‌ථාවන් විනාශ වී යන කාලයක ඉඳුනිල්ගේ ජීවිතය තවත් කාන්තාවකට මහඟු ආදර්ශයක්‌ විය යුතු යෑයි අපට කිව නොහැක. සමාජ සම්මතය එය නොපිළිsගන්නා බව සැබෑය. සමාජ සම්මතයට ඉඳුරාම වෙනස්‌ වූ ෙ€දවාචකයක්‌ වුව අවුල්ව වියවුල් වී පිපිරී යාමට ආසන්න වූ පවුල් සංස්‌ථාවක්‌ ඉඳුනිල් ගේ හා සිය සැමියාගේ අවබෝධය නිසා විනාශ වී ගියේ නැත. සමාජයේ ඇතැමුන් පිළිනොගත් චර්යාධර්මයක්‌ නිතැතින්ම පිළිබිඹු වුව එයට එකඟ විය නොහැකි කරුණු කාරණා ඇත. අසම්මත සම්බන්ධතාවයකින් දරුවකු ලබාගෙන වියෑළීSමට ගිය පවුලක්‌ යළි ස්‌ථාපනය කිරීමට ඇය දැරූ උත්සාහය පිළිබඳව තීන්දුව ජනතා පාඨකයන්ට ඉතිරි කර තබයි. සෑම කාන්තාවක්‌ම ඉඳුනිල් විය යුතු නැතැයි මාගේ විශ්වාසයයි. එහෙත් මෙම කතාවේ සැබෑ පසුබිම තුළින් අනාවරණය වූ කරුණ වූයේ ඉඳුනිල් විවාහ වූ සැමියා නපුංසකයකු වීමයි. මංගල රාත්‍රියේ සිට ඇය විඳි වේදනාව තනිවම විඳි ඇය තම ඥති බනAධු වර්ගයාට මුහුණදුන් ආකාරය සැබැවින්ම අනුවේදනීය කාරණයෙකි. නපුංසකයකුට දරුවකු ජාතක කළ නොහැකිවාක්‌ මෙන්ම බිරිඳගේ කායික අවශ්‍යතාවයන් සම්පූර්ණද කළ නොහැකි බව ඉඳුනිල්ගේ සැමියා ඇයට පසුව හෙළි කර ඇත. එය එසේ වුවත් අදද ඉහළ තානාන්තරයක කටයුතු කරන එම පුතුගේ මව සහ පියා වියපත්ව පුතු සෙවණේa සතුටින් ජීවත්වන බව සඳහන් කිරීමට හැකිවීම මහඟු භාග්‍යයක්‌ ලෙස මම සලකමි. විශ්‍රාමික ඉඳුනිල් ද, සැමියා ද ජීවිතයේ සැඳෑ සමයේ සතුටින් ගෙවන ජීවිතය සේ ඇතැම් අංග වත්මන් සමාජයට සමහර විට ආදර්ශයක්‌ විය හැකිය.

(නම් මනඃකල්පිතය - කතාවේ සැබෑ උරුමක්‌කාරයන්ට මෙම කතාව උපහාරයක්‌ම වේවා.)


විල්ප්‍රඩ් බොනිපස්‌ මැල්ලව

No comments:

Post a Comment