Saturday, April 30, 2011

මිතුරු වෙසින් ආ සතුරන්

ඔහු ඝාතනය කළේ මිතුරු වෙසින් ආ
සතුරන් දෙදෙනෙකි



දිනය 2011 පෙබරවාරි 15 වැනි අඟහරුවාදාය.

එදිනද වෙනදා මෙන්ම දොළුකන්දට ඉහළින් හිරු උදාවිය. පෙරදා රාත්‍රි දොළුකන්දට ඉහළින් උලමෙකු හඬාගෙන යැම ප්‍රදේශවාසීන්ගේ සිත්සතන් තුළට මහත් බියක්‌ ගෙන දෙන්නක්‌ විය.

වේලාව පෙ. ව. 9.00 ට ආසන්න වෙමින් තිබිණ. මේ අවස්‌ථාවේ ගොකරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංජිත් විතාරණ මහතා සිටියේ කුරුණෑගල - දඹුල්ල මහා මාර්ගයේ දියතුරේ ප්‍රදේශයේය. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගය පිළිසකර කිරීම නිසා හටගත් වාහන තදබදය පිළිබඳව සොයාබලා පිළියම් යෙදීම සඳහා පොලිස්‌ පරීක්‍ෂකවරයා එහි ගොස්‌ සිටියේය.

හිටිහැටියේම ඔහුගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක්‌ ලැබිණි. ඇමතුම ලැබුණේ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී වාස්‌ ගුණවර්ධන මහතාගෙනි.

මම දන්න හඳුනන ගල්කිස්‌සේ කට්‌ටියක්‌ මට කතා කරලා කිව්වා ඒ අයගෙ ඥතියෙක්‌ කුරුණෑගල ප්‍රදේශයේ වතු අධිකාරිවරයකු වශයෙන් සේවය කරනවා කියලා. අද උදේ ඉඳලා එයාගෙ දුරකථන එකක්‌වත් වැඩ නොකරන බවත් ඒ ගැන පොඩ්ඩක්‌ සොයා බලන ලෙසත් මගෙන් ඉල්ලා සිටියා. මේ මනුස්‌සය ගැන පොඩ්ඩක්‌ හොයල බලන්න.

ඊට සුළු මොහොතකට පසු පොලිස්‌ පරීක්‍ෂක රංජිත් විතාරණ මහතාගේ ජංගම දුරකථනයට යළිත් ඇමතුමක්‌ ලැබිණි. ඒ ඇමතුම ලැබුණේ පොලිස්‌ අධිකාරිවරයාට කතා කළ පිරිසේ අයෙකුගෙනි.

වතු අධිකාරිවරයා පිළිබඳවත් ඔහු ජීවත්වන නිවස පිහිටි ස්‌ථානය පිළිබඳවත් සියලු තොරතුරු එම ඇමතුම ඔස්‌සේ ලැබිණි.

වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ පරීක්‍ෂක විතාරණ මහතා සිය නිලධාරීන්ද සමඟ වතු අධිකාරිවරයාගේ ඉබ්බාගමුව මුරුතව පිහිටි නිවස කරා පිටත්ව ගියේය.

එය සුවිසල් නිවසකි. කාමර හයකින් යුත් මෙම නිවසේ වතු අධිකාරිවරයා තනිවම වාසය කළ බැව් හෙළිවිය.

ජීප් රථය නිවෙස ඉදිරිපිට නතර කළ විතාරණ මහතා නළාව කිහිප වතාවක්‌ නාද කළේය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක්‌ නොවූ බැවින් ඔහු සිය නිලධාරීන්ද සමග ජීප් රියෙන් බිමට බැස්‌සේය.

ඒ වනවිට නිවසේ ඉදිරි පස දොර අඩවල් කර තිබිණි. දොර පළුව විවෘත කළ විතාරණ මහතා "ගෙදර කවුද" කියා උස්‌ හඬින් විමසුවේය. එහෙත් එයටද ප්‍රතිචාරයක්‌ නොවූ බැවින් ඔහු සිය නිලධාරීන්ද සමඟ ගෙතුළට ගියේය.

සාලය මත ටීපෝවක්‌ මත අඩක්‌ හිස්‌ වූ මත්පැන් බෝතලයක්‌, කොකාකෝලා බෝතලයක්‌, කටගැස්‌මට දැමූ සුදු පැහැති පීරිසි කිහිපයක්‌ සහ විදුරු තුනක්‌ද තිබිණි.

නිවසේ පෙරදා රාත්‍රි සාදයක්‌ පැවැති බවටත්, ඒ සඳහා තිදෙනකු සහභාගි වී ඇති බවටත් එම වීදුරු තුන ප්‍රබල සාක්‍ෂියක්‌ විය.

ටීපෝව අසලම තිබුණු රූපවාහිනී යන්ත්‍රය ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබිණි. එම යන්ත්‍රය වීඩියෝවකට සම්බන්ධ කර තිබුණු අතර, එම වීඩියෝ පට පරීක්‍ෂා කර බැලීමේදී මෙම පිරිස මත්පැන් පානය කරමින් වීඩියෝ දර්ශන නරඹමින් මහත්සේ විනෝද වී ඇති බැව් විතාරණ මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන්ට අවබෝධ විය.

අනතුරුව විතාරණ මහතා ඇතුළු පිරිස නිවසේ කාමර එකිනෙක පරීක්‍ෂා කළහ. එක්‌ කාමරයකට ඇතුල් වන තැනම ලේ පැල්ලම් කීපයක්‌ තිබෙනු ඔවුහු දුටුවහ. කාමරයේ කෙළවරක ඇඳ ඇතිරිලි පොට්‌ටනියක්‌ දක්‌නට ලැබිණි. ලෙයින් තෙත්ව තිබුණු ඒ ඇඳ ඇතිරිලි පොට්‌ටනිය වැසෙන සේ ඒ මතට මෙට්‌ට දෙකක්‌ දමා තිබිණි.

එම මෙට්‌ට දෙක ඉවත්කර පොට්‌ටනිය ලිහා බැලීමේදී දක්‌නට ලැබුණේ අඩ නිරුවත් මිනිස්‌ සිරුරකි. ලෙයින් නැහැවී තිබුණු සිරුරේ තියුණු පිහි පාරවල් ගණනාවක්‌ තිබිණි.

එසේ ඝාතනයට ලක්‌ව සිටියේ වතු අධිකාරී ජය ශ්‍රී මද්දුමආරච්චි (62) මහතාය. ඔහු මරා දැමීම සඳහා යොදා ගන්නා ලදැයි සැක කෙරෙන පිහි දෙකක්‌ද ඒ රෙදි පොට්‌ටනිය අසල තිබිණි. එමගින් වටහාගත හැකි වූයේ මෙම ඝාතනයට දෙදෙනකු සම්බන්ධ වී ඇති බවකි.

වීදුරු තුනේ කතාව යළිත් පොලිස්‌ පරීක්‍ෂක විතාරණ මහතාගේ සිත තුළ හොල්මන් කරන්නට විය. "දෙකක්‌ ඝාතකයන්ගේ විය හැකියි. අනෙක වතු අධිකාරිවරයාගේ විය හැකියි" ඔහු ඒ අයුරින් කිසියම් නිගමනයකට එළැඹියේය.

එකට කා බී වීඩියෝ පට බැලූ මිතුරන් සතුරන් වූයේ කෙසේද? මෙම උගතෝකෝටික ප්‍රශ්නය සිතෙහි රඳවා ගත් පොලිස්‌ පරීක්‍ෂක විතාරණ මහතා තමා ඇතුළු නිලධාරීන් පිරිස සොයාගත් සියලු තොරතුරු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී වාස්‌ ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කළේය.

වාස්‌ ගුණවර්ධන මහතාගෙන් ලද උපදෙස්‌වලට අනුව කුරුණෑගල අතිරේක මහෙස්‌ත්‍රාත් තිලක්‌ බණ්‌ඩාර මහතා වෙත ඝාතනය පිළිබඳව තොරතුරු වාර්තා කළ විතාරණ මහතා සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ අංශයේ (SOCO) නිලධාරීන්ද, පොලිස්‌ නිල සුනඛයන්ද, ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ද කැඳවීය.

ඒ සියලු කණ්‌ඩායම් මගින් පවත්වන ලද පරීක්‍ෂණ වලින් අනතුරුව, ඝාතකයන් සෙවීමේ භාර දූර කාර්යය පැවරුණේ පොලිස්‌ පරීක්‍ෂක විතාරණ මහතාටය.

විතාරණ මහතා සැකකරුවන් පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළේ වතු අධිකාරිවරයාට දිනපතා ආහාර සපයන අසල්වාසීන්ගෙනි.

"මහත්තය 15 වැනිදා දවස්‌ කෑම ගන්න ආපු වෙලාවෙ කිව්ව රෑට කොළඹ ඉඳන් යාළුවෙක්‌ එනවා කියලා. ඒ හින්ද වැඩිපුර කෑම එකක්‌ ඕනෑ කියල මහත්තය කිව්වා. රෑ 8.30 ට විතර ඇවිල්ලා කෑම අරන් ගියා. ඒ යනකොට කිව්වා උදේට කෑම ගන්න එනවා කියල. ඒත් පහුවෙනිදා මහත්තයා ආවේ නැහැ."

මෙම කතා බහෙන් කිසියම් ඉඟියක්‌ සිත තුළ රඳවා ගැනීමට විතරණ මහතාට හැකිවිය.

මේ අතරතුර වතු අධිකාරිවරයාට අයත්ව තිබූ යතුරුපැදියක්‌ ඒ වනවිට අතුරුදන්ව ඇති බවද හෙළිවිය. ඒ පිළිබඳව සොයා බැලීමේදී එම යතුරුපැදිය කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මුරුතව හන්දියේ දමා ගොස්‌ තිබියදී සොයාගැනීමට පොලිසියට හැකි විය.

යතුරුපැදියේ වූ ඇඟිලි සලකුණු හා මත්පැන් වීදුරුවල තිබූ ඇඟිලි සළකුණු අතර සමානතාවක්‌ ඇති බැව් පරීක්‍ෂණවලින් අනාවරණය විය.

මෙයින් පැහැදිලි වූයේ ඝාතකයන් වතු අධිකාරිවරයා සමඟ එකට කා බී විනෝද වී ඔහු ඝාතනය කර මෙම යතුරුපැදියෙන් පලාගිය බවකි.

ඝාතනයේ අලුත්ම තොරතුරු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී වාස්‌ ගුණවර්ධන මහතා වෙත වාර්තා කළවිට පොලිස්‌ පරීක්‍ෂක විතාරණ මහතාට උපදෙස්‌ ලැබුණේ වතු අධිකාරිවරයා පාවිච්චි කළ ජංගම දුරකථන ජාල පරීක්‍ෂාවට ලක්‌ කරන ලෙසයි. ඒ වන විට වතු අධිකාරිවරයා සතුව තිබූ බැව් කියන ජංගම දුරකථන තුනම අතුරුදන්ව තිබූ බැවින් එසේ දුරකථන ජාල පිරික්‌සීමට තීරණය කෙරිණි.

ජංගම දුරකථන ජාල පරීක්‍ෂා කිරීමේදී මෙම වතු අධිකාරිවරයා ඉතා සමීපව ඇසුරු කළ තරුණයන් රැසකගේ තොරතුරු හෙළිවිය.

ඒ අතර කොළඹ, ගාල්ල, මාතර, බණ්‌ඩාරවෙල යන ප්‍රදේශවල තරුණයන් රැසක්‌ සිටියහ. වතු අධිකාරිවරයා ඇසුරු කළ ඒ කිසිවෙකුත් ඝාතනයට සම්බන්ධ නොමැති බැව් විමර්ශනයේදී අනාවරණය විය.

මේ අතර දුරකථන ජාල විමර්ශනයේදී පොල්පිතිගම ප්‍රදේශයේ තරුණයකු පිළිබඳ තොරතුරු හෙළිවිය.

ගොවියකු වූ මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු වතු අධිකාරි ඝාතනයේ සුලමුල හෙළිවන්නට විය. ඔහු විසි හැවිරිදි තරුණයෙකි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවකු පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඔහු යුද හමුදා පොලිසියෙන් ඉවත්ව සිටි අයෙකු වූ අතර, ඝාතනය සැලසුම් කර ඇත්තේ ඔහු විසින් බැව්ද හෙළිවිය. ඔහුගේ අරමුණ වී තිබුණේ වතු අධිකාරිවරයා ඝාතනය කොට ඔහු සතු දේපොළ කොල්ලකෑමටය. ඒ සඳහා සහයට ඉහතකී ගොවි තරුණයා තෝරාගෙන තිබිණි.

වතු අධිකාරිවරයාගේ ආරාධනයට අනුව එදින මෙම සෙබළා එහි ගොස්‌ ඇත්තේ පිහි දෙකක්‌ද රැගෙනය. වතු අධිකාරිවරයාට සිය ගොවි මිතුරා හඳුන්වා දුන් සෙබළා එදා රාත්‍රි ඔහුද නතර වන බැව් පැවසුවේය. ඒ සම්බන්ධයෙන් වතු අධිකාරිවරයාගේ කිසිදු විරුද්ධත්වයක්‌ නොවීය.

රාත්‍රි කාලයේදී සැලසුම් කළ පරිදි මෙම දෙදෙනා පිහියෙන් ඇන ගෙල කපා වතු අධිකාරිවරයා ඝාතනය කර ඇති බැව් ඔවුන්ගේ පාපොච්චාරණ වලින් අනාවරණය විය.

අනතුරුව ඔහු සතුව තිබූ රුපියල් 180,000 ක්‌ පමණ වටිනා රන් මාලය ද, රුපියල් විසි දහසක මුදලක්‌ද ජංගම දුරකථන තුනක්‌ද පැහැරගත් ඔවුහු වතු අධිකාරිවරයාගේ යතුරුපැදියෙන්ම පලාගොස්‌ තිබිණි.

අත්අඩංගුවට ගනු ලැබූ සෙබළා ළඟ තිබී ඉහතකී රන් මාලයද, දුරකථන තුනද මුදලින් රුපියල් පහළොස්‌දහසක්‌ද සොයා ගැනීමට පොලිසිය සමත් විය.


රණවීර මනුකුලසූරිය

දරු පෙම

දෙලොවක්‌ අතර සිටි දෙදෙනෙකු යා කළ
දරු පෙම



මෙම කතාව තුළ ජීවත්වන චරිත තවමත් අප අතර ජීවත්වන හෙයින්ද, ප්‍රධාන චරිතයේ ඉල්ලීම නිසාම ප්‍රධාන චරිතයට මනඃකල්පිත නමක්‌ද, සෙසු චරිතයන්ටද එවැනිම වූ නාමයන් ද ආරෝපණය කිරීමට සිදුවීමෙන් කිසිදු ආකාරයක චරිත ඝාතනයක්‌ සිදු නොවන බව මම සහතික කරමි. ඇය ඉඳුනිල් නමින් හඳුන්වමි. බස්‌නාහිර පළාතේ වැදගත් කුල පරම්පරාවක දෙමාපියන්ට ජාතකව මෙලොව ඉපදුණ ඇය පවුලේ බඩපිස්‌සීය. ගම්පහ පළාතේ උසස්‌ යෑයි සම්මත කාන්තා විද්‍යාලයක අකුරු කළ ඇය ජීව විද්‍යා විෂයයන් උසස්‌ ලෙසින් උසස්‌ පෙළ විභාගය සමත් වුවද වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අංශු මාත්‍රාවක ලකුණු ප්‍රමාණයක්‌ අඩුවීම හේතුවෙන් රජයේ හෙදි විභාගය සඳහා පෙනී සිටියාය. එයින් උසස්‌ අන්දමින් ප්‍රමාණවත් ලකුණු ලබා කුරුණෑගල රජයේ හෙදි විද්‍යාලයේ අභ්‍යාස ලද්දීය. තෙවසරක උගැනීමෙන් පසුව ඇය පළමු පත්වීම කොළඹට සමීප මානසික රෝහලක සේවයට පත්විය. පරිවාස කාලයෙන් පසුව පිරිපුන් රූමත් ඇයට සිය දෙමාපියන් විසින් මඟුල් කපුවකුගේ මාර්ගයෙන් සුදුසු සහකාරයකු සොයා ගැනීමට බලාපොරොත්තු විය.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන්ට ම ගැළපෙන වංශවත් යෑයි හඳුන්වා ගන්නා පවුලක පිරිමි ළමයකු මනමාලයා ලෙස කපුවා විසින් ඉදිරිපත් කළ යෝජනාව තරුණියගේ දෙමාපියන්ගේ අවධානයට ලක්‌ වූයේ ඔහුද දැන උගත් රැකියාවක්‌ කරන බුද්ධිමත් අයකු හෙයිනි. දෙපාර්ශ්වය ඔවුනොවුන්ගේ නැකැත්පත් පරීක්‍ෂා කර පොරොන්දම් ගැළපෙන හෙයින් දෙපාර්ශ්වයේ එකඟත්වය අනුව ඉක්‌මනින් විවාහ මංගල්‍යය කිරීමට යෝජනාව විය. ඇය හෙදි සොයුරියක්‌ වුව සමාජය පිළිබඳ පැසුණු බුද්ධියක්‌ හෝ අත්දැකීමක්‌ නොවීය. මංගල්‍ය තීන්දු කිරීමෙන් පසුව ඔවුනොවුනට ඇසුරු කිරීමටත්, ආදරය කිරීමටත් තම අදහස්‌ හුවමාරු කරගැනීමටත් සිදුවීම අද ඇය පසු තැවෙන එක්‌තරා කනගාටුදායක තත්ත්වයකි. ඇය අද පත්ව ඇති එකී අවාසනාවන්ත තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ දෙපාර්ශ්වයේම දෙමාපියන් බව ශාප කරමින් පවසන්නීය.

නියම කරගත් පරිදි විවාහය සිදුවිය. විවාහයෙන් පසුව සැමියාගේ ගම්පළාතට ස්‌ථාන මාරුවක්‌ ලබාගත් ඇය එහි සිට තම සේවය සඳහා ගියේය. සැමියා ද සුපුරුදු පරිදි තම රැකියාව සඳහා දිනපතා අගනුවරට ගියේය. විවාහ වී වසර තුනක්‌ ඉකුත් වුවද ඔවුනට දරු සුරතල් විඳීමට නොහැකිවීම පිළිබඳ විවිධ කතා ඔවුනොවුන් අතර විටින් විට ඇති විය. දෙදෙනා දෙදෙනාට ගරහා ගත්හ. බිරිඳ වඳ එකියෑක්‌ යෑයි සැමියා කියද්දී සැමියා වඳ යෑයි බිරිඳ කීවාය. එය ඔවුන් අතර වූ සමඟියට එක්‌තරා බාධාවක්‌ වූහ. එහෙත් රජයේ හෙදියක්‌ වූ ඇය වෛද්‍යවරයකු හමුවට යැමට කළ සෑම යෝජනාවක්‌aම සැමියා විසින් සිතාමතාව ප්‍රතික්‍ෂේප කර මගහරින බව ඇයට දැනුණි. ඇය බුද්ධිමත්ව තමන් අතර වූ ප්‍රශ්නයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුදුසු ක්‍රමවේදයක්‌ අනුගමනය කරන්නට බලා සිටියාය. එහෙත් සැමියාගෙන් සුදුසු ප්‍රතිචාර නොලද විට ඇය තුළ කිසියම් සැකයක්‌ මතු විය. තම සැමියා වෛද්‍ය සායනයට කැඳවා ගෙන යැමට නොහැකි වූ තැන ඇය වෛද්‍යවරයකු හමුවී පරීක්‍ෂණයක්‌ කරවා ගෙන තමන් දරුවකු පිළිසිඳ ගැනීමට තරම් සුදුසු තත්ත්වයේ පසුවන බව සහතික කරගත්තීය. ඇයට සැමියාගේ දෙමාපියන් හෝ නෑදෑයන්ගෙන් එල්ල වූ වඳ එකියක්‌ යන චෝදනාවෙන් ස්‌වයංව නිදහස්‌ වුවත් එහි සත්‍ය ප්‍රතිඵල ලබාදීමට තම සැමියා එකඟ කරවාගැනීමට ඇයට නොහැකිවීම ගැන ඇය පසු තැවුණි. වෛද්‍යවරයකු හමුවීම සඳහා ඔහුව කැඳවාගෙන යැමට දැරූ සෑම ප්‍රයත්නයක්‌ ම ඔහු සිතා මතාම මගහැරිය බව ඇය අදත් සිතන්නීය.

විවාහ වී සුළු කාලයක්‌ තුළ දී සැමියාගේ වෙනස්‌වීමක්‌ ඇය දිටිනි. එය කුමක්‌ද යන්න ඇයට අවබෝධ කරගැනීමට හේතුවක්‌ නොවීය. තම සැමියා නිරන්තරයෙන්ම ඇයගෙන් ඈත් වීමට උත්සාහ දරනාකාරයක්‌ ඇය දැන සිටියාය. විවාහක යුවළක්‌ ලෙස අඹුසැමියන් ලෙස එක්‌වීමට ඔහු කිසිදු දිනක නොපෙළැඹුණ බව ඇය වේදනාවෙන් යුතුව දරාගත්තීය. රැකියාව හා ගෘහ ජීවිතය අතර ඇය අතරමං වූ සෙයක්‌ දැනුණි. වෙනත් විවාහක සම වයසේ මිතුරියන්ගේ ගෘහ ජීවිතයේ වන සිදුවීම් අතර ඇය විඳ වූයේ මානසික දැඩි පීඩාවකි. මන්ද ඇයත් විවාහ ජීවිතයේ උපරිමය විඳීමට පටන් ගත්තා පමණක්‌ හෙයිනි. ඇය තම සැමියාගෙන් පැතූ සතුට වින්දනය ඇයට මේ වනතුරුත් නොලැබීම මානසික වශයෙන් ඇය රෝගියකු කිරීමට තරම් සමත් විය. ඇය සේවය කළ රෝහල් වාට්‌ටුවේ වෙනදා සේවය කළ කඩිසර හෙදිය මන්දගාමීව සේවයේ නිරත වූ බොහෝ අවස්‌ථාවල ප්‍රධාන හෙදි සොයුරියගේ දෝෂයන්ට ලක්‌ විය. එසේ වුව ඇයගේ හඬට සවන් යොමු කිරීමට හදවත මෙළොක්‌ වූ කිසිවකු නොවීම ඇයගේම අවාසනාව විය.

දිනෙන් දින පවුලේ සැමියා සමඟ තිබූ ළෙන්ගතුකම ගිලිහී යන්නටත් පවුලේ වැඩිහිටියන් තමන් වෙත අවඥසහගතව බැලීමටත් පුරුදු වීම නිසා ඇය තවදුරටත් මානසික වශයෙන් පීඩා වින්දාය. තම සැමියාගෙන් විවාහක බිරිඳ වශයෙන් ලැබිය යුතු ආදරය, ළෙන්ගතුකම, සෙනෙහස, එකම පැතුම දරුවෙක්‌ නොලැබීම අතර ඇය මංමුළා වූ එකියක්‌ විය. එහෙත් ඇය කිසිදු දිනක තම සැමියාට වෛර නොකළාය. කෙදිනක හෝ ඔහුට දාව තම කුසයෙන් දරුවකු බිහි කිරීම එකම පැතුම කරගත් ඇය මිරිඟුවක්‌ පසුපස යන මුවැත්තියක්‌ මෙන් විඩාබරව ඇදවැටුණි. එහෙත් ඇයගේ සැමියාට නොවේ එය අවබෝධ වූයේ. ඒ ඇයගේ පෙර සංසාරයේ ඇය කළ මහා පවක්‌ නිසා යෑයි ඇය සිතීය.

කාලය ගෙවී යැමත් සමඟ ඇයට තම සැමියා පිළිබඳව ඇති වූයේ සැකයකි. ඇය සැකය පිටුපස ලුහුබැන්දාය. එකිනෙක කටකතා සවනට ඇසුණද ඇය ඒවා සත්‍ය යෑයි විශ්වාස නොකළාය. කවදා හෝ සැබෑ තත්ත්වය මා දෑසින් දකිනතුරු මම ඔහුව සැක නොකරමි යනුවෙනි. අඹු සැමියන් අතර ඇති වූ විවිධ හැලහැප්පීම් අතර ඇයට ඇයගේ නැන්දා සමඟද විරසක වීමට සිදු විය. එවන් පවුල් පසුබිමක්‌ තුළ අවුල් වූ හදවතින් තනිවම වේදනා විඳවමින් තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට ඇය කිසිදු විටක අමතක නොකළාය. හදවතින් හුදෙකලාව තම විවාහක සැමියාගේද හවුහරණයක්‌ ආදර සෙනෙහස ආරක්‍ෂාව රහිතව සිටි මංමුළා වූ ඇයට ඇයගේ ජීවිතයට තුන්වැන්නෙක්‌ එබී බලන්නට වූයේ ඇයගේ පෞද්ගලික පවුල් පසුබිමේ ඇතිව තිබූ නොසංසුන්කාරීත්වය දැන සිටි කෙනෙකි. ඔහු නිරන්තරයෙන්ම ඇය පිළිබඳව විමසිල්ලෙන් සිටි අයෙකි. ඇයද නොදැනුවත්වම ඔහු ක්‍රම ක්‍රමයෙන් ඇයගේ හුදෙකලා හදවත තුළ ලැඟුම් සොයන්නට විය. ඔහුගේ හමුවීම දිය පොදක්‌ විය. ඇයගේ තොල් වියළුනා පිපාසයට මෙනි. ඇයද ඇයගේ හුදෙකලාව පාළුව තනිකම ඇයගේ හද තුළ කැකෑරෙමින් තිබූ පවුලේ ප්‍රශ්න සැමියාගේ දුරස්‌ථ බව ඇයගේ කායික හා මානසික ප්‍රශ්න උන්මත්තියක්‌ ලෙස වැමෑරුවේ ළය විරේකයක්‌ ලෙසිනි. ඔහුට එයම කදිම අවස්‌ථාවක්‌ විය. ඇයගේ පාලු හදවතට සමීප වන්නට වැඩි කලක්‌ යැමට මත්තෙන් ඔහු ඇයගේ අනියම් සැමියා බවට පත් විය. තම විවාහක සැමියාගෙන් විවාහක කාන්තාවක්‌ ලෙසින් ලැබිය යුතු කායික හා මානසික තෘප්තිය ඇය ඔහුගෙන් අවස්‌ථාවන් ලද සෑමවිටකම විඳ විය. කලකදී මොහොතකට හෝ ඇය කායික ලෙසින් ඔහුගෙන් තෘප්තිමත් වූවාට පවක්‌ නැතැයි සිතීsය. කල්යත්ම ඇය හා ඔහු අතර වූ ඇසුර මුහුකුරා ගිය සෙයක්‌ දැනුණේ ඇය ගැබ්බර මවක්‌ වන ලකුණු පහළ වීමත් සමඟ ය. එහෙත් ඇයට සමාජයෙන් අවලාදයක්‌ නොනැඟුණත් ඇයගේ හදවතට ඇය වංක වූවා යෑයි සිතීය. ඇය සිත් සේ ඔහුගෙන් කායික වශයෙන් තෘප්තිමත් විය. විවාහක කාන්තාවක්‌ ලෙසින් ඇයගේ හැසිරීම තුළ වරදක්‌ කිව නොහැකි තත්ත්වයට ඇය පත්ව සිටි හෙයිනි.

නිවසින් ද ඇයට ඇයගේ දරු ගැබට කටකතා නොකියෑවිණි. බොහෝදෙනකු විශ්වාස කළේ කල් පිරී ගොස්‌ ඇය මවක්‌ වූ බවය. එහෙත් ඇය හා ඔහු මෙන්ම ඇයගේ සැමියාද දරු ගැබේ සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න දැන සිටියද ඔහු නෙමේ ඇයට විරුද්ධව එකදු වචනයක්‌ කතා කළේ. ඒ පිළිබඳව ඉඳුනිල්ට ඇති වූයේ වෛරයක්‌ නොව අනුකම්පාවකි. ඇය දෙලොවක්‌ අතර තනි වූවාය. ඉඳුනිල්ගේ අනියම් සැමියාද විවාහකයකු බව ඇයට අනාවරණය වන විට ඇය ඔහුගේ අනියම් බිරිඳ වී හමාරය. කාලය ගෙවී ගියේ සියලුම ප්‍රශ්න නිරාකරණය කර ගෙන වුව දරුවාගේ උපන් අයිතිය පිළිගැනීමට විවාහක සැමියාගේ ඉදිරිපත්වීමද ඉඳුනිල්ට පුදුම සහගතය. ඇය ඇයගේ අනියම් සැමියා කෙමෙන් කෙමෙන් ඈත් කරද්දී ඔහුද අකැමැත්තෙන් තොරව ඉඳුනිල්ගෙන් ඈත් වූයේ අවස්‌ථාවාදී ප්‍රේමවන්තයකු ලෙසිනි. එහෙත් ඇයගේ සැමියා ඇය කරා වෙනදාට වඩා සමීපව ළෙන්ගතු වූවාය. ඇයටත් ඇයගේ දරුවාටත් සෙනෙහෙබර පියකු ලෙසත්, සැමියකු ලෙසත් ඔහුගෙන් ඉටු විය යුතු යුතුකම් කවරේද ඒ සියල්ලම කිසිදු අඩුපාඩුවකින් තොරව ඉටු කළේය. මෙම දෙබිඩි ජීවිතය හා හැසිරීම හමුවේ නිරුත්තර වූ ඉඳුනිල් සැබෑ මවක්‌ ලෙසින් තම ගර්භයේ හැදුණු වැඩුණු දරුවා අපරිමිත වූ සෙනෙහසින් යුතුව ඇති දැඩි කළේ තම කුසයේ ඉපදුණත් තම විවාහක සැමියාගේ නොවන බව දැන දැන වුව දරුවාට තමන්ගෙන් ලැබිය යුතු අපරිමිත සෙනෙහස ලබා දුන්නා පමණක්‌ නොව සැමියාද සිතට එකඟව තමන්ගේ නොවන අවජාත වූ දරුවකුට දිය යුතු උපරිම පිය සෙනෙහස ලබා දුන්නාය. වෙනදා නිවසින් ඇයට එල්ල වූ ඇනුම් පද වඳ ගැහැනිය, මූසලිය උදේට දැක්‌කොත් වගතුවක්‌ නැහැ. අපේ ඇස්‌වලට පේන්න එන්න එපා යන ආඩපාලිවලින් කියෑවුණ අහිමිරි වදන් මිහිරි වූ වදන්වලට පෙරළී ඇය තරම් වාසනාවන්ත ලේලියක්‌ තවත් නැතැයි නැන්දම්මා කියූ වාර අන්ත අප්‍රමාණය. නැන්දා සහ ඥතීන් තමාගේ පරපුර ඉදිරියට ගෙනයා හැකි පිරිමි පුතකු වැදුවාට ඉඳුනිල්ට කරනු ලබන සත්කාරයන් අනන්ත අප්‍රමාණයන් විය.

දරු උපතේ හා දරුවාගේ සැබෑ පියා පිළිබඳ වූ අයිතිය දන්නේ ඉඳුනිල් පමණි. සිය විවාහක සැමියාද එකී දරුවා තමාගේ නොවන බව සිතට එකඟව දනිතත් ඔහු කිසි දිනක ඉඳුනිල්ට විරුද්ධව වචනයක්‌ කතා නොකළේය. එසේම විවාහක සැමියාද තම ඥති බන්ධු වර්ගයාගෙන් ඇයට විවාහක බිරිඳට එල්ල වූ අපහාස උපහාස අවම කර කර යළි සැබෑ විවාහ දිවියක්‌ ගත කිරීමට නාමිකව දුන්නා වූ සහාය සමාජයට අලුත් පාඩමකි. සැකය මුසු ඇතැම් පවුල් සංස්‌ථාවන් විනාශ වී යන කාලයක ඉඳුනිල්ගේ ජීවිතය තවත් කාන්තාවකට මහඟු ආදර්ශයක්‌ විය යුතු යෑයි අපට කිව නොහැක. සමාජ සම්මතය එය නොපිළිsගන්නා බව සැබෑය. සමාජ සම්මතයට ඉඳුරාම වෙනස්‌ වූ ෙ€දවාචකයක්‌ වුව අවුල්ව වියවුල් වී පිපිරී යාමට ආසන්න වූ පවුල් සංස්‌ථාවක්‌ ඉඳුනිල් ගේ හා සිය සැමියාගේ අවබෝධය නිසා විනාශ වී ගියේ නැත. සමාජයේ ඇතැමුන් පිළිනොගත් චර්යාධර්මයක්‌ නිතැතින්ම පිළිබිඹු වුව එයට එකඟ විය නොහැකි කරුණු කාරණා ඇත. අසම්මත සම්බන්ධතාවයකින් දරුවකු ලබාගෙන වියෑළීSමට ගිය පවුලක්‌ යළි ස්‌ථාපනය කිරීමට ඇය දැරූ උත්සාහය පිළිබඳව තීන්දුව ජනතා පාඨකයන්ට ඉතිරි කර තබයි. සෑම කාන්තාවක්‌ම ඉඳුනිල් විය යුතු නැතැයි මාගේ විශ්වාසයයි. එහෙත් මෙම කතාවේ සැබෑ පසුබිම තුළින් අනාවරණය වූ කරුණ වූයේ ඉඳුනිල් විවාහ වූ සැමියා නපුංසකයකු වීමයි. මංගල රාත්‍රියේ සිට ඇය විඳි වේදනාව තනිවම විඳි ඇය තම ඥති බනAධු වර්ගයාට මුහුණදුන් ආකාරය සැබැවින්ම අනුවේදනීය කාරණයෙකි. නපුංසකයකුට දරුවකු ජාතක කළ නොහැකිවාක්‌ මෙන්ම බිරිඳගේ කායික අවශ්‍යතාවයන් සම්පූර්ණද කළ නොහැකි බව ඉඳුනිල්ගේ සැමියා ඇයට පසුව හෙළි කර ඇත. එය එසේ වුවත් අදද ඉහළ තානාන්තරයක කටයුතු කරන එම පුතුගේ මව සහ පියා වියපත්ව පුතු සෙවණේa සතුටින් ජීවත්වන බව සඳහන් කිරීමට හැකිවීම මහඟු භාග්‍යයක්‌ ලෙස මම සලකමි. විශ්‍රාමික ඉඳුනිල් ද, සැමියා ද ජීවිතයේ සැඳෑ සමයේ සතුටින් ගෙවන ජීවිතය සේ ඇතැම් අංග වත්මන් සමාජයට සමහර විට ආදර්ශයක්‌ විය හැකිය.

(නම් මනඃකල්පිතය - කතාවේ සැබෑ උරුමක්‌කාරයන්ට මෙම කතාව උපහාරයක්‌ම වේවා.)


විල්ප්‍රඩ් බොනිපස්‌ මැල්ලව