ඔහු ඝාතනය කළේ මිතුරු වෙසින් ආ
සතුරන් දෙදෙනෙකිදිනය 2011 පෙබරවාරි 15 වැනි අඟහරුවාදාය.
එදිනද වෙනදා මෙන්ම දොළුකන්දට ඉහළින් හිරු උදාවිය. පෙරදා රාත්‍රි දොළුකන්දට ඉහළින් උලමෙකු හඬාගෙන යැම ප්‍රදේශවාසීන්ගේ සිත්සතන් තුළට මහත් බියක් ගෙන දෙන්නක් විය.
වේලාව පෙ. ව. 9.00 ට ආසන්න වෙමින් තිබිණ. මේ අවස්‌ථාවේ ගොකරැල්ල පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් විතාරණ මහතා සිටියේ කුරුණෑගල - දඹුල්ල මහා මාර්ගයේ දියතුරේ ප්‍රදේශයේය. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගය පිළිසකර කිරීම නිසා හටගත් වාහන තදබදය පිළිබඳව සොයාබලා පිළියම් යෙදීම සඳහා පොලිස් පරීක්‍ෂකවරයා එහි ගොස් සිටියේය.
හිටිහැටියේම ඔහුගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ලැබිණි. ඇමතුම ලැබුණේ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගෙනි.
මම දන්න හඳුනන ගල්කිස්‌සේ කට්‌ටියක් මට කතා කරලා කිව්වා ඒ අයගෙ ඥතියෙක් කුරුණෑගල ප්‍රදේශයේ වතු අධිකාරිවරයකු වශයෙන් සේවය කරනවා කියලා. අද උදේ ඉඳලා එයාගෙ දුරකථන එකක්‌වත් වැඩ නොකරන බවත් ඒ ගැන පොඩ්ඩක් සොයා බලන ලෙසත් මගෙන් ඉල්ලා සිටියා. මේ මනුස්‌සය ගැන පොඩ්ඩක් හොයල බලන්න.
ඊට සුළු මොහොතකට පසු පොලිස් පරීක්‍ෂක රංජිත් විතාරණ මහතාගේ ජංගම දුරකථනයට යළිත් ඇමතුමක් ලැබිණි. ඒ ඇමතුම ලැබුණේ පොලිස් අධිකාරිවරයාට කතා කළ පිරිසේ අයෙකුගෙනි.
වතු අධිකාරිවරයා පිළිබඳවත් ඔහු ජීවත්වන නිවස පිහිටි ස්‌ථානය පිළිබඳවත් සියලු තොරතුරු එම ඇමතුම ඔස්‌සේ ලැබිණි.
වහාම ක්‍රියාත්මක වූ පොලිස් පරීක්‍ෂක විතාරණ මහතා සිය නිලධාරීන්ද සමඟ වතු අධිකාරිවරයාගේ ඉබ්බාගමුව මුරුතව පිහිටි නිවස කරා පිටත්ව ගියේය.
එය සුවිසල් නිවසකි. කාමර හයකින් යුත් මෙම නිවසේ වතු අධිකාරිවරයා තනිවම වාසය කළ බැව් හෙළිවිය.
ජීප් රථය නිවෙස ඉදිරිපිට නතර කළ විතාරණ මහතා නළාව කිහිප වතාවක් නාද කළේය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොවූ බැවින් ඔහු සිය නිලධාරීන්ද සමග ජීප් රියෙන් බිමට බැස්‌සේය.
ඒ වනවිට නිවසේ ඉදිරි පස දොර අඩවල් කර තිබිණි. දොර පළුව විවෘත කළ විතාරණ මහතා "ගෙදර කවුද" කියා උස් හඬින් විමසුවේය. එහෙත් එයටද ප්‍රතිචාරයක් නොවූ බැවින් ඔහු සිය නිලධාරීන්ද සමඟ ගෙතුළට ගියේය.
සාලය මත ටීපෝවක් මත අඩක් හිස් වූ මත්පැන් බෝතලයක්, කොකාකෝලා බෝතලයක්, කටගැස්‌මට දැමූ සුදු පැහැති පීරිසි කිහිපයක් සහ විදුරු තුනක්‌ද තිබිණි.
නිවසේ පෙරදා රාත්‍රි සාදයක් පැවැති බවටත්, ඒ සඳහා තිදෙනකු සහභාගි වී ඇති බවටත් එම වීදුරු තුන ප්‍රබල සාක්‍ෂියක් විය.
ටීපෝව අසලම තිබුණු රූපවාහිනී යන්ත්‍රය ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබිණි. එම යන්ත්‍රය වීඩියෝවකට සම්බන්ධ කර තිබුණු අතර, එම වීඩියෝ පට පරීක්‍ෂා කර බැලීමේදී මෙම පිරිස මත්පැන් පානය කරමින් වීඩියෝ දර්ශන නරඹමින් මහත්සේ විනෝද වී ඇති බැව් විතාරණ මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට අවබෝධ විය.
අනතුරුව විතාරණ මහතා ඇතුළු පිරිස නිවසේ කාමර එකිනෙක පරීක්‍ෂා කළහ. එක් කාමරයකට ඇතුල් වන තැනම ලේ පැල්ලම් කීපයක් තිබෙනු ඔවුහු දුටුවහ. කාමරයේ කෙළවරක ඇඳ ඇතිරිලි පොට්‌ටනියක් දක්‌නට ලැබිණි. ලෙයින් තෙත්ව තිබුණු ඒ ඇඳ ඇතිරිලි පොට්‌ටනිය වැසෙන සේ ඒ මතට මෙට්‌ට දෙකක් දමා තිබිණි.
එම මෙට්‌ට දෙක ඉවත්කර පොට්‌ටනිය ලිහා බැලීමේදී දක්‌නට ලැබුණේ අඩ නිරුවත් මිනිස් සිරුරකි. ලෙයින් නැහැවී තිබුණු සිරුරේ තියුණු පිහි පාරවල් ගණනාවක් තිබිණි.
එසේ ඝාතනයට ලක්‌ව සිටියේ වතු අධිකාරී ජය ශ්‍රී මද්දුමආරච්චි (62) මහතාය. ඔහු මරා දැමීම සඳහා යොදා ගන්නා ලදැයි සැක කෙරෙන පිහි දෙකක්‌ද ඒ රෙදි පොට්‌ටනිය අසල තිබිණි. එමගින් වටහාගත හැකි වූයේ මෙම ඝාතනයට දෙදෙනකු සම්බන්ධ වී ඇති බවකි.
වීදුරු තුනේ කතාව යළිත් පොලිස් පරීක්‍ෂක විතාරණ මහතාගේ සිත තුළ හොල්මන් කරන්නට විය. "දෙකක් ඝාතකයන්ගේ විය හැකියි. අනෙක වතු අධිකාරිවරයාගේ විය හැකියි" ඔහු ඒ අයුරින් කිසියම් නිගමනයකට එළැඹියේය.
එකට කා බී වීඩියෝ පට බැලූ මිතුරන් සතුරන් වූයේ කෙසේද? මෙම උගතෝකෝටික ප්‍රශ්නය සිතෙහි රඳවා ගත් පොලිස් පරීක්‍ෂක විතාරණ මහතා තමා ඇතුළු නිලධාරීන් පිරිස සොයාගත් සියලු තොරතුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කළේය.
වාස් ගුණවර්ධන මහතාගෙන් ලද උපදෙස්‌වලට අනුව කුරුණෑගල අතිරේක මහෙස්‌ත්‍රාත් තිලක් බණ්‌ඩාර මහතා වෙත ඝාතනය පිළිබඳව තොරතුරු වාර්තා කළ විතාරණ මහතා සිද්ධිය වූ ස්‌ථානයට ගොස් පරීක්‍ෂණ පවත්වන පොලිස් අංශයේ (SOCO) නිලධාරීන්ද, පොලිස් නිල සුනඛයන්ද, ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ද කැඳවීය.
ඒ සියලු කණ්‌ඩායම් මගින් පවත්වන ලද පරීක්‍ෂණ වලින් අනතුරුව, ඝාතකයන් සෙවීමේ භාර දූර කාර්යය පැවරුණේ පොලිස් පරීක්‍ෂක විතාරණ මහතාටය.
විතාරණ මහතා සැකකරුවන් පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළේ වතු අධිකාරිවරයාට දිනපතා ආහාර සපයන අසල්වාසීන්ගෙනි.
"මහත්තය 15 වැනිදා දවස් කෑම ගන්න ආපු වෙලාවෙ කිව්ව රෑට කොළඹ ඉඳන් යාළුවෙක් එනවා කියලා. ඒ හින්ද වැඩිපුර කෑම එකක් ඕනෑ කියල මහත්තය කිව්වා. රෑ 8.30 ට විතර ඇවිල්ලා කෑම අරන් ගියා. ඒ යනකොට කිව්වා උදේට කෑම ගන්න එනවා කියල. ඒත් පහුවෙනිදා මහත්තයා ආවේ නැහැ."
මෙම කතා බහෙන් කිසියම් ඉඟියක් සිත තුළ රඳවා ගැනීමට විතරණ මහතාට හැකිවිය.
මේ අතරතුර වතු අධිකාරිවරයාට අයත්ව තිබූ යතුරුපැදියක් ඒ වනවිට අතුරුදන්ව ඇති බවද හෙළිවිය. ඒ පිළිබඳව සොයා බැලීමේදී එම යතුරුපැදිය කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මුරුතව හන්දියේ දමා ගොස් තිබියදී සොයාගැනීමට පොලිසියට හැකි විය.
යතුරුපැදියේ වූ ඇඟිලි සලකුණු හා මත්පැන් වීදුරුවල තිබූ ඇඟිලි සළකුණු අතර සමානතාවක් ඇති බැව් පරීක්‍ෂණවලින් අනාවරණය විය.
මෙයින් පැහැදිලි වූයේ ඝාතකයන් වතු අධිකාරිවරයා සමඟ එකට කා බී විනෝද වී ඔහු ඝාතනය කර මෙම යතුරුපැදියෙන් පලාගිය බවකි.
ඝාතනයේ අලුත්ම තොරතුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා වෙත වාර්තා කළවිට පොලිස් පරීක්‍ෂක විතාරණ මහතාට උපදෙස් ලැබුණේ වතු අධිකාරිවරයා පාවිච්චි කළ ජංගම දුරකථන ජාල පරීක්‍ෂාවට ලක් කරන ලෙසයි. ඒ වන විට වතු අධිකාරිවරයා සතුව තිබූ බැව් කියන ජංගම දුරකථන තුනම අතුරුදන්ව තිබූ බැවින් එසේ දුරකථන ජාල පිරික්‌සීමට තීරණය කෙරිණි.
ජංගම දුරකථන ජාල පරීක්‍ෂා කිරීමේදී මෙම වතු අධිකාරිවරයා ඉතා සමීපව ඇසුරු කළ තරුණයන් රැසකගේ තොරතුරු හෙළිවිය.
ඒ අතර කොළඹ, ගාල්ල, මාතර, බණ්‌ඩාරවෙල යන ප්‍රදේශවල තරුණයන් රැසක් සිටියහ. වතු අධිකාරිවරයා ඇසුරු කළ ඒ කිසිවෙකුත් ඝාතනයට සම්බන්ධ නොමැති බැව් විමර්ශනයේදී අනාවරණය විය.
මේ අතර දුරකථන ජාල විමර්ශනයේදී පොල්පිතිගම ප්‍රදේශයේ තරුණයකු පිළිබඳ තොරතුරු හෙළිවිය.
ගොවියකු වූ මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු වතු අධිකාරි ඝාතනයේ සුලමුල හෙළිවන්නට විය. ඔහු විසි හැවිරිදි තරුණයෙකි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවකු පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඔහු යුද හමුදා පොලිසියෙන් ඉවත්ව සිටි අයෙකු වූ අතර, ඝාතනය සැලසුම් කර ඇත්තේ ඔහු විසින් බැව්ද හෙළිවිය. ඔහුගේ අරමුණ වී තිබුණේ වතු අධිකාරිවරයා ඝාතනය කොට ඔහු සතු දේපොළ කොල්ලකෑමටය. ඒ සඳහා සහයට ඉහතකී ගොවි තරුණයා තෝරාගෙන තිබිණි.
වතු අධිකාරිවරයාගේ ආරාධනයට අනුව එදින මෙම සෙබළා එහි ගොස් ඇත්තේ පිහි දෙකක්‌ද රැගෙනය. වතු අධිකාරිවරයාට සිය ගොවි මිතුරා හඳුන්වා දුන් සෙබළා එදා රාත්‍රි ඔහුද නතර වන බැව් පැවසුවේය. ඒ සම්බන්ධයෙන් වතු අධිකාරිවරයාගේ කිසිදු විරුද්ධත්වයක් නොවීය.
රාත්‍රි කාලයේදී සැලසුම් කළ පරිදි මෙම දෙදෙනා පිහියෙන් ඇන ගෙල කපා වතු අධිකාරිවරයා ඝාතනය කර ඇති බැව් ඔවුන්ගේ පාපොච්චාරණ වලින් අනාවරණය විය.
අනතුරුව ඔහු සතුව තිබූ රුපියල් 180,000 ක් පමණ වටිනා රන් මාලය ද, රුපියල් විසි දහසක මුදලක්‌ද ජංගම දුරකථන තුනක්‌ද පැහැරගත් ඔවුහු වතු අධිකාරිවරයාගේ යතුරුපැදියෙන්ම පලාගොස් තිබිණි.
අත්අඩංගුවට ගනු ලැබූ සෙබළා ළඟ තිබී ඉහතකී රන් මාලයද, දුරකථන තුනද මුදලින් රුපියල් පහළොස්‌දහසක්‌ද සොයා ගැනීමට පොලිසිය සමත් විය.
රණවීර මනුකුලසූරිය